ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වර්ෂ 1981 අංක 66 දරන පාර්ලිමේන්තු පනත මගින් සම්මත කරන ලදී. එම පනතේ 3 වන වගන්තියට අනුව එහි පරිපාලනය, කළමනාකරණය සහ පාලනය කිරීම සඳහා වන බලතල භාරකාර මණ්ඩලය වෙත පවරා ඇත.

ග්‍රාමීය ජනතාව වෙත විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ සහ දැනුම ලබා දීම අරමුණු කරමින්, "මහපොළ" සංකල්පය 1980 දී වෙළඳපොළක් හරහා, අභාවප්‍රාප්ත ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වෙළඳ හා නාවික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ආරම්භ කරන ලදී.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මගින් විශ්ව විද්‍යාල, අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන හා තාක්ෂණික ආයතන හරහා 1982 වර්ෂයේ සිට 2017 දක්වා වූ වසර 35ක කාල පරිච්ඡේදය තුල බිලියන 13.3ක් වටිනා ශිෂ්‍යත්ව 288,893 ප්‍රදානය කර ඇත.

වර්තමානයේදී, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මගින් විශ්ව විද්‍යාල හා තාක්ෂණික ආයතනයන්හි අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව 17,000 පිරිනමනු ලැබේ.

ඒකාබද්ධ ශිෂ්‍යත්ව අරමුදලට අයත් නොවන එහෙත් එහි පරිපාලන කටයුතු ගරු. අග්‍ර විනිශ්චයකාරතුමා සභාපතිත්වය හොබවනු ලබන ස්වාධීන භාරකාර අරමුදලක් මගින් පවත්වාගෙන යනු ලබන, උසස් අධ්‍යාපනය හැදෑරීමට තරුණයන්හට අවස්ථාව සලසා දී ඇති ආයතන වෙත මූල්‍යමය ආධාර සැපයීම සිදු කෙරේ.

දැක්ම

ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම හරහා දරිද්‍රතාවයෙන් තොර සමාජයක බිහි කිරීම.

මෙහෙවර

පහසුකම් වැඩි දියුණු කිරීම හරහා වරප්‍රසාද නොලත් තරුණයන්හට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සමාන අවස්ථා ලබා දීම හා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.

ඉලක්ක සහ අරමුණු

උසස් හා ද්විතීය අධ්‍යාපනය වැඩිදුර කරගෙනයාම සඳහා, තාක්ෂණික කුසලතා වර්ධනය කිරීමට අවශ්‍ය ශිෂ්‍යයන් හට අදාළ මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් අභාවප්‍රාප්ත ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සංකල්පයක් අනුව “මහපොළ” උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ස්ථාපිත කරන ලදී.

  • තරුණයන් වෙනුවෙන් උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම.
  • ද්විතීය අධ්‍යාපනය සතුටුදායක අන්දමින් සම්පුර්ණ කරන ලද සහ ඒ සඳහා යෝග්‍ය තරුණයන්හට ඒ අනුව අදාළ විශ්ව විද්‍යාල හෝ තාක්ෂණික හෝ උසස් අධ්‍යාපන ආයතනයන් තුලින් වැඩිදුර අධ්‍යාපනය සම්පුර්ණ කිරීමට අවශ්‍ය ආධාර සැපයීම.

  • තරුණයන්හට වෘතීය නිපුණතාව හා ප්‍රවීනත්වය වර්ධනය කිරීම සඳහා වෘතීමය පුහුණු ආයතන පිහිටුවීම හා අදාළ කළමනාකරණ කටයුතු සඳහා ආධාර කිරීම.

  • අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීමේහි ලා නියැලී සිටින අධ්‍යාපන ආයතන සහ ඒ හා සමාන කාර්යයන්හි නියැලී සිටින ආයතනයන්හට එහි පාලනය හා කළමනාකරණ කටයුතු සඳහා ආධාර කිරීම.

  • අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීමේහි ලා නියැලී සිටින කථිකාචාර්යවරුන්ගේ ගුරුවරුන්ගේ හා අනෙකුත් පුද්ගලයන්ගේ නිපුනතාව හා ප්‍රවීනත්වය වර්ධනය කිරීම සඳහා ආධාර කිරීම.